Govdoc Blog

සුළු වැරදිවලට හිරේ නොයවා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක්

Under house arrest

සුළු වැරදි සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට මවුපියන් හෝ වෙනත් භාරකරුවෙක් යටතේ මාස කිහිපයක් නිවාස අඩස්සියේ තැබීමට අදාළ නීති ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එවැනි සැකකරුවන් බන්ධනාගාරය තුළදී විවිධ පුද්ගලයන් ඇසුරු කර දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත්ව සමාජගත වන බවට තොරතුරු අනාවරණය වන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

මීට අදාළ නීති ගෙන ඒමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන එවැනි සැකකරුවන් බන්ධනාගාරගත නොකර මාස තුන-හතරක් හෝ ඊට වැඩි කාලයක් මවුපියන් ඇතුළු භාරකරුවෙක් යටතේ නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නියෝග ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නීතිඥ සංගමය ඇතුළු අදාළ විශේෂඥයන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසීය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඇතුළු පළමු වතාවට සුළු වැරදිවලට සම්බන්ධ වූවන් මේ ආකාරයට භාරකරුවෙක් යටතේ නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

බන්ධනාගාරගත වූවන්ගේ නිර්මාණ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේ ඊයේ (දෙසැ. 27) පැවති ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම ප්‍රදර්ශනය ⁣හෙට (දෙසැ. 29) දක්වා පැවැත්වෙන අතර ගෘහ භාණ්ඩ, අත්කම් භාණ්ඩ, එළවළු, ධාන්‍ය වර්ග ඇතුළු අත්‍යවශ්‍ය දෑ මෙම ස්ථානයෙන් මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

(Visited 44 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular