මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී (මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ) අඩු කර ඇති බව බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්‍රසාරණය වන මුදල් ප්‍රමාණය බව ඔහු පෙන්වා දුන්නේය.

2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් සමාජයේ ප්‍රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බව නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගෙන තිබෙන පුද්ගලයන්ට සහනයක් සපයන ලෙස බැංකු වලට දැනුම් දී ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් බැවින් ණය ලබා ගත් පුද්ගලයන් මෙන්ම බැංකුවද ආරක්ෂා විය යුතු බවද මහ බැංකු නිලධාරීහු ප්‍රකාශ කළහ.

ප්‍රතිපත්ති පොළී අනුපාතයට වඩා වෙළඳපොල පොළී අනුපාතය ඉහළ මටට්මක පවතින බවත් එයට හේතු කිහිපයක් බලපාන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.ප්‍රතිපත්ති පොළී අනුපාතය පහළ යන විට වෙළඳපොල පොළී අනුපාතය පහළ නොගියහොත් එය නියාමනය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

ලබන වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි මහ බැංකුව බලාපොරොත්තු වන බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.