Govdoc Blog

රූපවාහිනී දෙමළ ප්‍රවෘත්ති ප්‍රකාශයටත් AI තාක්‍ෂණය

විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරළියක් ඇති කරමින් ජාතික රූපවාහිනිය පසුගියදා ආරම්භ කළ කෘත්‍රිම බුද්ධි මෙහෙයුම මේ වන විට තවදුරටත් වැඩිදියුණු කරමින් ඉදිරියට ගෙන යමින් සිටී.

මෙරට පළමු වරට සිංහල ප්‍රවෘත්ති විකාශයක් සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කිරීමට ජාතික රූපවාහිනිය පසුගිය 05 වැනිදා කටයුතු කළේය.

එදින රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශයේ නිවේදකයන් යුවළ අතරට ඔවුන්ගේ අනුරූද යොදා ගනිමින් ප්‍රවෘත්ති සාර්ථකව ඉදිරිපත් කිරීමට ජාතික රූපවාහිනියට හැකි විය.

කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කරමින් සිදු කළ මේ කටයුත්තේ නවමු අත්දැකීම ප්‍රේක්ෂකයන්ට අත්විඳගැනීමට හැකි වූයේ මෙරට පළමු වරටයි.

එතෙකින් නොනැවතුණු ජාතික රූපවාහිනිය දෙමළ ප්‍රවෘත්ති විකාශයට ද AI තාක්ෂණය සාර්ථකව භාවිත කිරීමට ඉකුත් 10 වැනිදා සමත් විය. එදින දෙමළ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ නිවේදකයන් දෙදෙනා වූ සී. බී. එම්. ෂියාම් සහ තීබා දර්ශිනී වෙනුවට එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩි ප්‍රවෘත්ති සංඛ්‍යාවක් ඔවුන්ගේ අනුරූ ලෙස සැකසුනු AI ආකෘති මඟින් ඉදිරිපත් කෙරිණි.

රූපවාහිනී මාධ්‍ය කලාවේ දෙමළ සන්නිවේදකයන් දෙදෙනකුට සමාන AI සන්නිවේදකයන් දෙදෙනකු ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රවෘත්තියක තිබිය යුතු විශ්වාසනීයත්වය හා සජීවීකරණයට කිසිදු හානියක් නොවන අයුරින් කෘත්‍රිම බුද්ධි යෙදවුම් භාවිත කිරීමට මෙහි විශේෂත්වයයි. රූපවාහිනී දෙමළ ප්‍රවෘත්ති ප්‍රකාශය ද AI තාක්ෂණය භාවිතයෙන් ඉදිරිපත් කිරීමත් සමඟ මෙරට සහ විදෙස්ගත ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් ඊට ද ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

මේ වන විට කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ද කැපී පෙනෙන උද්‍යෝගයක් ඇතිවී තිබීම සුවිශේෂී කරුණකි. ජාතික රූපවාහිනිය රූපවාහිනී AI සමාජයක් ද ආරම්භ කර තිබේ. runews වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

රූපවාහිනී සංස්ථාවේ සභාපති, ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ මඟපෙන්වීම සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ, ප්‍රවෘත්ති නිෂ්පාදක ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල මහතා විසින් AI ප්‍රවෘත්ති ප්‍රකාශ නිෂ්පාදනය කරයි.

ඉදිරියේදී මේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් තවත් නවමු අත්දැකීම් ජනතාවට දීමට ජාතික රූපවාහිනිය කටයුතු කරමින් සිටී.

(Visited 107 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed