ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව, රක්ෂණ ආයතන මඟින් රක්ෂණ සහතික පත්‍ර වෙනුවට මෙම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.ඒ අනුව ස්ථාපිත කර ඇති ‘ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය’ හරහා රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකි අතර, ඒ සඳහා ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයන් පහත පරිදි වේ.
USSD කේතය මඟින්:
- ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා *1338# අමතා, වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීමෙන් රක්ෂණ ඔප්පුවේ වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකියි.
කෙටි පණිවිඩ (SMS) මඟින්:
- වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් ලෙස 1338 අංකය වෙත යොමු කිරීමෙන්, රක්ෂණ ඔප්පුව සක්‍රියව පවතින්නේ ද යන්න පිළිබඳ ක්ෂණික පිළිතුරක් ලබාගත හැකියි.
දුරකථන ඇමතුම් මඟින්:
- 1338 අංකය අමතා ලැබෙන උපදෙස් අනුව අදාළ රක්ෂණ ආයතනය තෝරා ගැනීමෙන්, එම සමාගමේ පාරිභෝගික සේවා අංශය හරහා රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරගත හැකියි.
පද්ධතියට වාහන අංකය ඇතුළත් කිරීමේදී ඉංග්‍රීසි අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර සහ ඉලක්කම් හතර (උදා: ABC-1234) ලෙස ඇතුළත් කළ යුතුය. එහිදී අකුරු හෝ ඉලක්කම් අතර අනවශ්‍ය ඉඩ (Space) නොතැබිය යුතු අතර, පැරණි “ශ්‍රී” අංක සහිත වාහන සඳහා එම අක්ෂරය වෙනුවට “SRI” ලෙස ඉංග්‍රීසියෙන් ඇතුළත් කළ යුතු බව ද පොලිසිය අවධාරණය කරයි.
ඉහත ක්‍රම මඟින් මෝටර් රථයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර, කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකියි.
වැඩිදුර තොරතුරු පහත නිවේදනයේ දක්වා තිබෙනවා.
| More Details | Click Here |


govdoc blog
Add comment