Govdoc Blog

වර්ජනය කළ දින ගණන නිවාඩුවලින් අඩු කරයිද ?

Postal Strike

වර්ජනය කළ දින ගණන නිවාඩුවලින් අඩු කරයිද ?

 

තැපැල් නිලධාරීන් වර්ජනය කළ දින ගණන වාර්ෂික නිවාඩු සංඛ්‍යාවෙන් අඩු කරන බව තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය.

සියලු තැපැල් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී සේවයට වාර්තා නොකිරීමෙන් මෙම පිරිස තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝග උල්ලංඝණය කර ඇතැයි ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.

වර්ජනය කළ දින කිහිපය තුළ තැපෑලට පාඩු සිදුවීම, දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරිවලට බාධා එල්ල වීම, මහජනතාවට සේවා ලබානොදීම, ආයතනයේ තීරණවලට පටහැනි වීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම සේවකයන් පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද හෙතෙම කීවේය.

වැඩවර්ජනය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බාධා එල්ල වී ඇතැයි කී රුවන් සත්කුමාර මහතා ගෙවුණු දින කිහිපයේ මහජනතාව උප තැපැල් කාර්යාලවලින් සපයන සේවාවන් පෞද්ගලික අංශයෙන් ලබාගෙන ඇතැයි පැවැසීය.

මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් හා උප තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි හා පාර්සල් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නැතැයි පැවැසූ හෙතෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හිර වී තිබූ පාර්සල් තොගයක් කුරුණෑගලට ප්‍රවාහනය කළ බව කීවේය.

මේ අතර, වැඩවර්ජනය මධ්‍යයේ විවෘතව පවතින තැපැල් කාර්යාලවලට හා උප තැපැල් කාර්යාලවලට ගොස් මහජනතාවට බිල්පත් හා වාහන දඩ ගෙවීමට අවස්ථාව තිබෙන බවද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.

තැපැල් කාර්යාල 92ක් සහ උප තැපැල් කාර්යාල 3,154ක් විවෘතව පවතින බවත්, ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක වී තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් වෘත්තීය සමිතිවලට හෝ දෙපාර්තමේන්තුවට ශක්තියක් ඇති නොවන බවත් රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග නොකර සේවයට වාර්තා කරන්නැයි වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

 

(Visited 28 times, 2 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed