Govdoc Blog

ජාතික පාසල් අහෝසියි? සියලු ම පාසල් පළාත් සභාවලට

National School

ජාතික පාසල් අහෝසියි! සියලු ම පාසල් පළාත් සභාවලට

පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්ණන් පැවසීය.

ඒ අනුව, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්‍යාාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇතැයි සභාපතිවරයා කීය.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

එසේම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබා දීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම් දුන් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. ප්‍රාථමික, 6-9 සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

එසේ ම, උසස් පෙළ ‍12 ශ්‍රේණියට ද, සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියට ද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටත් නියමිත බව ද රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

මීට අමතරව හය ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා පැවසීය. පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත් එසේ කළහොත් මවු භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන් බවත් හෙතෙම සඳහන් කළේ ය.

අධ්‍යාපන ඇමතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබා දී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබාදී නොමැති බවත් ඔහු කීවේ ය.

ලබන ජනවාරි දෙවන සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ද මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළේ ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සඳහන් කළේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේ ද යන්න ගැටලුවක් වන බව ය.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරගයකට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලුවලට මුහුණදිය හැකි බව ද මන්ත්‍රීවරිය සඳහන් කළා ය.

ඒ අනුව උසස් පෙළ ශ්‍රේණිය 12 දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇතැයි කාරක සභාවේදී සාකච්ඡා වූ බව කවිරත්න මන්ත්‍රීවරිය කීවා ය. එසේ ම පළාත් සභා යටතට පාසල් ඇතුළත් කර ගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද ඇය පැවසුවා ය.

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular