2026 ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට
2026 ගෝලීය සාම දර්ශකයට අනුව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ස්ථාන 14කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ආර්ථික විද්‍යාව හා සාමය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (Institute for Economics & Peace – IEP) විසින් සකස් කරන ලද 20 වැනි ගෝලීය සාම දර්ශකය (Global Peace Index 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකාව එහි ලකුණු 1.91ක් ලබාගනිමින් 67 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
ලෝක ජනගහනයෙන් 99.7%ක් ආවරණය වන පරිදි ස්වාධීන රාජ්‍යයන් සහ කලාප 163ක අභ්‍යන්තර හා බාහිර ගැටුම්, ආරක්ෂාව සහ හමුදාකරණය ඇතුළු නිර්ණායක 23ක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදුකර තිබේ. මෙවර වාර්තාවට අනුව සමස්ත ලෝක සාමකාමීත්වය පසුගිය වසරට සාපේක්ෂව 0.7% කින් පහත වැටී ඇති බව ද ලෝක සාමය මෙලෙස අඛණ්ඩව දරුණු ලෙස පල්ලම් බැස ඇත්තේ අඛණ්ඩව 12 වැනි වසරට බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
වත්මන් ලෝකයේ පවතින ගැටුම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන දරුණුතම අස්ථාවර වාතාවරණය මෙය බව ද දර්ශකය පෙන්වා දෙයි. විශේෂයෙන්ම යුක්‍රේන සහ ගාසා තීරයේ පවතින දරුණු යුද වාතාවරණයන් මීට ප්‍රධානතම හේතුව වී තිබේ. මුළු ලෝකයේම සාමකාමීත්වය බිඳවැටෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව මෙවර ගෝලීය සාම දර්ශකය තුළ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව ගෝලීය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසක් ඉදිරියට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය වර්ධනය වීම, අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මහජන උද්ඝෝෂණ අවම වීම මෙන්ම ආරක්ෂක අංශ කෙරෙහි පවතින විශ්වාසය ඉහළ යෑම මෙලෙස සාමකාමී රටවල් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට ප්‍රධානතම හේතුසාධක වී ඇති බව සඳහන් වේ.
මෙවර දර්ශකයට අනුව ද ලොව වඩාත්ම සාමකාමී රාජ්‍යය ලෙස ‘අයිස්ලන්තය’ පෙරමුණ ගෙන සිටින අතර නවසීලන්තය, ස්විට්සර්ලන්තය, ස්ලෝවේනියාව, අයර්ලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය, සිංගප්පූරුව, ෆින්ලන්තය, ජපානය යන රටවල් ද ඉදිරියෙන් පසුවෙයි.
යුදධමය හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මෙවර ගෝලීය සාම දර්ශකයේ පහළින්ම පසුවන, එනම් ලොව වඩාත්ම සාමකාමීත්වයෙන් අඩුම රාජ්‍යයන් බවට පත්ව ඇත්තේ රුසියාව, සුඩානය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, යුක්‍රේනය, ඊශ්‍රායලය, දකුණු සුඩානය, ආෆ්ගනිස්ථානය, යේමනය, සිරියාව, මාලි, සෝමාලියාව යන රටවල් ය.
ලෝකයේ සාමය බිඳවැටීමට බලපාන ප්‍රධානතම සාධකය ලෙස IEP ආයතනය හඳුන්වන්නේ සාම්ප්‍රදායික යුරෝපීය බලවතුන්ගේ බලය ගිලිහී යමින්, මධ්‍යම ප්‍රමාණයේ කලාපීය බලවතුන් නැඟීසිටීම හරහා ඇති වන ‘මහා ඛණ්ඩනය’ (The Great Fragmentation) නමැති භූ-දේශපාලනික වෙනසයි. 2018 සහ 2025 වසරවල් අතර කාලය තුළ ලොව පුරා ඩ්‍රෝන ප්‍රහාර (Drone attacks) එල්ල වීම සියයට 11,500 කින් ඉහළ ගොස් ඇත.
විවිධ සන්නද්ධ කණ්ඩායම් 565ක් අවම වශයෙන් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් හෝ එල්ල කර තිබේ. එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිස් මැදිහත්වීමකින් තොරව කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සටන් බිමේ තීන්දු තීරණ ගන්නා මට්ටමට තාක්ෂණය වර්ධනය වී තිබේ.
ලොව පුරා සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා සහ යුද්ධ හේතුවෙන් 2025 වසරේදී පමණක් ගෝලීය ආර්ථිකයට සිදුව ඇති සමස්ත පාඩුව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 21.81කි. එය සමස්ත ලෝක දේපළ නිෂ්පාදිතයෙන් (Global GDP) සියයට 10.5 කට සමාන දැවැන්ත අගයක් බව ද වාර්තා වෙයි.


govdoc blog
Add comment